Monday, July 16, 2012

කුරුණෑගල්



තාමත් මතක වෙයි මට මා කුඩා කල
පෙර පාසැලට ගිය හැටි නිති නැගිටී උදය
තාත්තා අතින් ගෙන නවතා ලංගම බසය  
දිව විත් නැවතෙනා මම වීදුරුවක් අසල

මතකයි තාම බලමින් මහ මග අසිරි
අසමින් නේක තොරතුරු කුහුලින් සපිරි
බලමින් අවට කෙත් වතු සහලින් ඉතිරී
කුරුණෑගල් ගියා මතකයි සතුටින් ඉපිලී

යන මග දෙපස තිබුනා මහ ගල් සිකර
මෙතරම් ගල් කිමද කුරුණෑගල අතර
සිහිකර නේක ගල් කුලු මා දුටු නිතර
සිතුවා ලියන්නට පැදියෙන් මෙනෙහි කර

මාහොලො ගල පසු කරන් බෝපිටි ආවා
පැනිවෙරළුවේ ලෙස ගල්වල ඇදින්නුවා
කැඩි ගල් බොරලු ටැක්ටර් වතුරත් ඇද්දා
බුල්ඩොසරෙන් බඳිනා වැව මම දුටුවා 

ගල උඩ පන්සලක් වෙයි තව බෝපිටියේ
බෝ සමිදුන් වැඩ සිටි පොඩි ගල මුදුනේ
බුදුගේ තිබුනේ ඊටත් පොඩ්ඩක් මුදුනේ
ගල පාමුලක නිල් දිය ළිඳ පිහිටල තිබුනේ

ගිරිඋල්ලේ ගල් කුලු මා සිත ගත්තූ
රිලවුන් නිතර ගල මත ගැවසී ගත්තූ
ගඟ ගලනා ගල් පාලම ගල් ගැල්ලූ
ලී මොලකුත් තිබුනා ගල උඩ ඇල්ලූ

කදු කීපයක් පසුකර දඹදෙණි ආවා
වඩුවා කෙටූ ලෙස ගල් පඩි පෙල වූවා
තව පරුවත පෙලක් ඉන් ඉදිරියේ වූවා
ටවුමට වෙච්ච මහ ගල මගේ හිත් ලූවා

දඹදෙණියේ  කඩපෙල තාමත් මතකයි
කටුගම්පලට යන්නෙත් එතිනින් මතකයි
මාලිගාව පිහිටිය ගල පෙන්නුව මතකයි
මුතුගල පන්සලත් පහුවෙනවා මතකයි

සමිතියකින් කරන සාලාවක් පහු වූවා
සාලියාල ලෙස හන්දිය නම් වූවා
හන්දිය ඉදිරිපිට ලී මෝලක් වූවා
මතකයි ගල් පොත්ත මත කොහු මොලක් දිව්වා

පසුකර වී මෝල හා මහ වෙල් යාය
බස්රිය සිව්රුදෙනි කඩපිල හැර යාය
සැවුලෙක් පීත කනුවක සදවා සිටිය
අල්ලපු වත්තේ සල් ගස දැන් පීදීය

මැටියගනේ කන්දට පෙර වෙල් එලියේ
මහ කලු ගලක් ලියදක් මැද සිට වූයේ
ඒ දැක අන්දරේ මට නිති සිහි වූයේ
තව පොඩි ගල් පොතුත් මහ කරදරයක් වූයේ

නැග්ගා බසය මැටියංගන මහ කන්ද
දුම් දම දමා ඇදි බර මට මර නින්ද
කන්දේ පිහිටි පොල් පෙල වෙත සිත නැද්ද
පුදුමයි සියලු ගස් සිටවා මැනලා කවුද

කන්ද බහින විට පොල් වතු පහු වූවා
කිවුල්ගල්ල වෙත බස්රිය ලං වූවා
වංගුව සමග මහ ගල් පඩි පෙල වූවා
ගල උඩ වෙහෙර දැක මවිතෙට පත් වූවා

කිවුල්ගල වංගුව පසුකර යනවා සමග
පොඩි කදු ගැටේ විගසම අප උඩ දැමුව
බසයත් නැවතුනා ලඟ පාරක් අසල මුව
රෑබර මගේ මිතුරියත් නැගලා සමඟ මව

කොන්වන්ට් මොන්ටිසෝරිය වෙත ඇය යන්නේ
අම්මා අතින් ගෙන හැඩවැඩ ඇයි නැත්තේ
බස් එක ගැස්සිලා ඉදිරියටම දිව යන්නේ
අම්මට කිව්වා මම ඇයවයි බඳින්නේ

දම්පැලැස්සෙ හන්දිය වෙත අප ආවා
හුනුගල් වැඩ පලත් මගදිම මම දුටුවා
මැද්දේගම පන්සලත් මතකයි පහු වූවා
ඒ දෙස ඇත්තේ බොරලුම කදු මම සිතුවා

මතකයි තාම බස්එක යන කන්ද දිගේ
කන්දේ බොරලු කපලා ඇත මහ පාරේ
පල්ලේ තිබ්බ නාන ලිද නිතරම දිය බේරේ
යන්නේ කොහෙද පොල් වතු මැද මට නොපෙනේ

නාරම්මලට ලංවනවිට කොහු මොලේ
කොහු බත් කන්ද මට අදහා ගනු කෙලෙසේ
කොහු බත් ගන්න පොල් ගස්නම් නැද්ද කොහේ
පිචර් හෝල් එක මවිතය දෙගුණ කලේ

කොහු බත් කන්දටම අල්ලා සදවා තිබ්බ
පිචර්හලේ වහලය මට අමුතුම වෙච්ච
කලුවට කලු ගලක් මෙන් ඈතට දිස් වෙව්ව
වටකුරු වහලයට මගේ සිත මවිතය වෙච්ච

පාසැල පහු කරන විට වෙල් යායක් වූවා
යායට උඩින් මහ ගල් කදු පෙල වූවා
ගල් කුලු උඩින් මහ පිලිමය දිස්වූවා
නිලමහ යොදයගේ බව මට කවුදෝ කීවා

නාරම්මල ටවුම නිතරම මට පහුවෙනවා
ටවුම  මැද්දේ මහ ටවරය ඉදිවෙනවා
ඉංජිනේරු අක්කා කනුවේ උඩටම යනවා
ඇගෙ දිරි එඩිය ගැන ඩයිවර් කියවනවා

පහුවනවිටම නාරම්මල මහ ටවුම
කුඹුරුයාය වෙයි නිල්වන් දැක අරුම
මීදුම් මැදින් පාරත් නැතිවිය පුදුම
තුරු හිස් මතින් ලා හිරු රැස් බල සැවොම

පහුකර වෙල්යාය මහ වංගුවකට එන්නේ
කැරකුන වේගයට මම කොක්කක එල්ලෙන්නේ
දෙපසම ගල් කුලුයි මට ඈතට දිස් වන්නේ
ගනේගොඩ වෙතයි අප දැන් ලංවන්නේ

හන්දිය පසු කරන් අපි ඉදිරියටම ඇදුනා
මහ කලු ගලක් විත් වංගුව පසුවූවා
ගල මත පුංචි දර මැස්සක් තව වූවා
ලොරි බොඩි වැඩපලත් ඈතින් ගලකම වූවා

ලොරි වැඩපලට ඈතින් මහ වෙල මැද්දේ
කුහුලය ඇයිද ගල් පොත්තක් දිස් වන්නේ
පොත්තට එහායින් ඇයි කිසිවක් නොපෙන්නේ
ගල මත වැවක් ඇති බව කවුදෝ පවසන්නේ

පසුකරමින් ඇල වේලි මහ කඹුරු ලියද්
බලමින් මී වැව වංගුවෙ නාන ලිදත්
වංගුව බෑවුමේ සරු කෙත් හා අනග ලියන්
වංගුව අවට ගල් ගැන මම කේසේ ලියම්

නාන ලියන්ගෙන් පිං ළිඳ වටවෙන්නේ
නිල්වන් පළිඟු ලෙස හිරු දිය ලෙලදන්නේ
කල පෙල උකුලෙ ගැමි ලියො දිය කෙලිමින්නේ
මී වැව පහුකරන් බස්රිය ඇයි දැන්මම යන්නේ

මීවැව වංගුවේ මනරම් ගල් පොත්තේ
හන මල් පිපී වනමල් ගැවසී ගත්තේ
තල මල් පිපී අනියත බව සිහි වන්නේ
වංගුව වටේ ගිරිවල තව මොනවද වෙන්නේ

සමහර දිනක වංගුව උඩ ගල් කන්දේ
අලුයම අඩ අඳුරේ නිතරම දුම් ලන්නේ
ඒ දුම් නගින්නේ හොර ස්කා ගාරෙන්නේ
කොන්දොස්තර සැමට ඇති තතු වටහල දුන්නේ

කන්ද මුදුනේ පොඩි පංසල වූවා දෝ
ඈතට පත්තිරිප්පුව මෙන් දිස් වූවා දෝ
වෙල මැද සුදු පාර කන්දට කැපුනා දෝ
මීදුම් ඇවිත් මගේ දසුනත් වැසුවා දෝ

පිං ළිඳ පහු කරන විට පරුවතයක් වූවා
එය පාමුලින් පොල් අතු ගෙපැලක් වූවා
ගෙදර අඩ දොරෙන් හෙලුකොට්ටෙක් දිව්වා
මටත් ගෙදර කුස්සිය ගැන සිහි වූවා

කටුමැටි ගසා බට වරිච්ච බැඳ තිබ්බ
ගොම මැටි ගසා ගේ බිම මැදලා තිබ්බ
කටරොඩු දාස් පෙති මනරම් වවලා තිබ්බ
සුදු  වැලි මිදුල පිරිසිදුවට අමදල   තිබ්බ

මේ ගේ පැලේ ඉන්නා හෙලුවැලි කොල්ලා
පළඳී ඉනේ කලු නුලක් කරකා හොල්ලා
දිවයන මී හරක් පටිටිය දැක ගෙයි බල්ලා
බුරමින් දුවයි ගවරැල ගන්නට මෙන් අල්ලා

පහුකර දුවන විට මේ සුන්දර ගේ පියස
මානෙල් පොකුණ ගල් වටකර වල සරස
මල් පැණි මතින් බිඟු රල කැලඹී විලස
පැද්දී ඉගිලුනා රිය නිවලා ගත වෙහෙස

මේ පොකුණටම කර රූනන් රෑනක් වූවා
රෑනම වේගයෙන් සුලඟින් කැරකූවා
කූරන් පෙම් කෙලින ගල් පොඩි එහි වූවා
මා දුටු ලස්සනම වල මට මෙය වූවා

ඊ ළඟ වංගුවේ ඇත මහ කුඹුක් ගස
ගසට එහායින් වෙයි ගල් කුලු පියස
ගල් කුලු පියස වට කර වැව දිය සලස
මේ දිය වරන්නට දෙද මානෙල් මල් පලස

බස් රිය කෙමෙන් කලුගමුවට ලංවන්නේ
කොහුබත් මෝල හෙමි හෙමිහිට පහු වන්නේ
කොහුබත් කන්ද මෙන් මහ මෙර ඉක්මන්නේ
ඇතුගල් කන්ද වෙද ඈතට දිස් වන්නේ

කොහුබත් කන්ද ඉදිරියේ වූ ගල් කන්දේ
පොඩි ගේ සුදුවතින් ඈතට දිස් වන්නේ
ගලට අල්ලලා කෙත් වතු දිදුලන්නේ
සුදු හංසයෙක් පුදුමයි සොහොනක් මුදුනේ

කවියෙක් පතල ඔහු ඉපදුනේ කලුගමුවේ
ඔහු සිහිවන්න මේ අරුමය ඉදි කෙරුවේ
තෙරතුරු කොටා ඇත සොහොනේ පින්තූරේ
කවියෙක් වුවත් මරණය ඔහු වෙත ආවේ

යන්නට පෙර කලුගමුවේ හන්දියට
මහ කඳු රජෙක් වෙයි බසයට නගින්නට
ඇන්ජිම දුම් දමා දගලා කිහිප විට
බඩගා නගියි කලුගමුවේ මහ කන්ද

කන්ද පාමුලම වෙයි මහ කුඹුක් ගස
කන්ද නැග්ග විට ඇත හන්දිය ගන්න බැස
වාරියපොලට යන්නේ මෙතනින් විලස
කවුදෝ කිව්ව බව මතකයි කිව්ව බස

කලුගමු කන්ද මුදුනේ ඇත තැපල් හල
හන ගස්වලින් වටවූ කලු ගල් ගොල්ල
ගල කෙලවරක වූවා මනරම් දෙවොල
කන්ද බසින්නේ ලංවී බොක්කට කිරල

කිරල බොක්කේ වංගුව තාමත් මතකයි
වංගුව එක්ක හන්දිය තිබ්බා මතකයි
හන්දිය අල්ලා කලු ගල් පෙල අරුමයි
ගල පහුකරන විට උහුමීයේ වෙද මැදුරයි

මේ වෙද මැදුර තුන් හෙලයම අඳුනන්නේ
වෙදැදුරු දොරටියාවේ ලොව සුපතල වන්නේ
මැදුරේ හට්ටි වල වෙද පැණි උතුරන්නේ
තාත්තගේ අරිෂ්ටෙත් මම රහසින් බොන්නේ

තාත්තා බිව්ව නෙක දස බල මූලා රිෂ්ඨ
මමත් බිව්ව බව නොදනී රහසින් ඔහුට
තාත්තා ගත්තෙ මේ පැණි නිති හැදි දෙකට
මමනම් ගත්තේ පැණි බොතලයෙන් කටට

තවමත් දකින විට නිති මේ වෙද මැදුර
සිහිවේ මගේ පංතිය මට එක වසර
නැති ලෙඩ හදා අම්මා දක්කා එවර
ආවේ පැණි බේත් ගන්නට මේ වෙද ගෙදර

වෙද මහතා කරුණා මෙත් ගුනෙන් යුතු
බැලුවා මගේ කේන්දරයත් කිමද ගතු
මම මහ ගුණවතෙක් වේ දිනකදි මෙයින් මතු
හිස අත ගසා කිව්වා හෙලිකර සියලු තතු

වෙදමැදුරේ නෙක හැඩ ලොකු හැලි අතරේ
විවිද හැඩැති බොතල් මගෙ හිත ගත්තේ
පූනීලය ගැසූ හට්ටියෙ රස වෑහෙන්නේ
මී පැණි  නොවේ තෙල් කොහොඹයි රහ බැලුවේ

මැදුරේ සිටපු කුදුවුනු මිටි සුදු සීයා
මට ආදරෙයි වෙදමැදුරෙත් පොත් කියනා
මැදුරේ වෙද පැලත් ප්‍රෙස්කර පොත් යට හංගා
හැදුව පැල පොතත් පන්තියෙ එක වූවා

පහුකර යනවා බස් එක උහුමීයේ ඇල
ඇල කණ්ඩියේ හිට ගහනව වීසි දැල
ඇල පහු කරන විට වෙයි මහ මාර පෙල
රොබින්හුඩුත් සිහිවෙයි දැක බියකරු අඳුර

මාරගසින් බර වුනු මහ වන ගොල්ල
වංගුව සමඟ දිසි ගිරි කුළු මනකල්ල
පොල්වතු අතර කලු සුදු වැට නැත දල්ල
ගල් ගල් අතර වෙද උහුමී පාසැල් වැල්ල

ගල්පෙල අතර පැලපිහි ගොඩ දිස් වන්නේ
කොප්පර මෝලෙ දහසින් පොල් ලෙලි වන්නේ
මෝලට අල්ලලා පාසැල වෙත යන්නේ
පැලපිහි කන්න පොඩිවුන් පොර අල්ලන්නේ

අපේ ගෙදර කොතරම් පොල් පැල වූවත්
කටට කෙල උනයි අරුමෙක හැටි මෙහෙමත්
පොල් ගෙඩි පලා උදයම මිදුලට දමතත්
බසයේ අපට මෝලට නැත යන්න ඉඩක්

උහුමීයෙන් පිදුරුවැල්ල වෙත ටික ටික ලං වන්නේ
සීත සුලං කෙත්  වතු පිස කිරල හඩින් පිනවන්නේ
හිරුරැස් කැටි ගත දැවැටී සිත ප්‍රමුදිත කරවන්නේ
ලන්ද උඩින් වලා සිබින ඇතුගල දැන් දිස්වන්නේ

ඇතුගල ආඳාගල එළුගල ඉබ්බ ගල
වඳුරාගල කුරුණෑගල කුරුමිණිය ගල
ගල් ගල් මොකද මඟ දිග මේ විකුම බල
ගල් ගැන කුහුල ඇතිවිය මගෙ කුඩා කල

මේ ගල් ගැනම සිතමින් මට නින්ද ගියා
බස්රිය අප රැගෙන මලිදෙව් පියසටම ගියා
පහලොස් වසක් නිති කුරුණෑගලට ගියා
මහ කලු ගලක් මෙන් නොසැලෙන්නට උගෙන ගියා

                                                                                                                  චරක දනන්සූරිය

No comments:

Post a Comment