Tuesday, July 31, 2012

අම්පිටියේ නාග රජා

නමින් අම්පිටියේ
පන්සල අසල තුඹසේ
නයෙක් වී සිටියේ
නුඹද  කිව මැන පුංචි දරුවේ

දැක නුඹ ගැන සටහනක්
ගොසිප් පුටුවක මහා සටනක්
වීද නුඹ නා රජෙක්
කෙසේ සැක ඇර දකින්නද මම්


අම්පිටියේ නාග රාජයා මනුස්ස ආත්මයක් ලබල කියල හරි ප්‍රහේලිකාවක් යනවා මේ දවස්වල  තැන තැන. මටත් ඉන්න බැරි තැන මේකේ යට දාල තිබ්බ කොමෙන්ට්ස් එහෙමත් කියවන්න ගත්තා. බලනකොට බොලේ මෙන්න එකෙක් කියෙනව නයා සිංහල දන්නේ කොහොමද කියල., තවත් එකෙක් කියනව නයා පලතුරුකනවා පුදුමයි කියලා, තවකෙක් කියනව බුදු දහමයි මේ මිහිපිට ඔප්පුවන්නේ කියලා, etc හැම කෙනාම තමන්ගේ අත්දැකීම් වලින් මේ සිද්ධිය වවිධ ලෙස විචිත්‍රව විග්‍රහ කරනවා. මමත් හිතුවා මේ එකෙක් දාලා තිබ්බ නයා කොහොමද පලතුරු කන්නේ කියන comment එක අල්ලලා මුලු ඔක්කොම කොමෙන්ට් වල තියෙන very challenging points වලට; මම මේ සිද්ධිය විග්‍රහ කරන්නේ කොහොමද කියල talk එකක් දෙන්න. කොමෙන්ට් එක ලිව්වා බොලේ මෙන්න ඒක දාන්න gossip site එකේ ඉඩ මදිලු. හුටා මට මොන ගොසිප්ද කියල දැම්මා කොමෙන්ට් එක මගේ Blog එකේ.




මම ලිව්ව පිලිතුර තමයි මේ තියෙන්නේ.

කලබල වෙන්න එපා මිත්‍රයා. නයා කාපූ එක ගැන දුක් වෙනවට වඩා ඉස්සෙල්ලම සතුටු වෙයන් ඒකා මිනිහෙක් වෙලා අපි අතරට ආපු එක ගැන. උඹ මිනිහෙක් වෙලත් පලතුරු විතරද කන්නේ කියල අවංකව හිතපන්. ඉතිං මේකා නයෙක් වෙලා අඩුමගානේ පළතුරු විතරක්ම කන්න හිතපු එකත් ලොකු දෙයක්නෙ බන්. අපි නොදන්න බොහෝ දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා. උඹ නොදැක්කට අන්නසි කියන්නේ නයින්ගේ ප්‍රියතම කෑමක්. අන්නසි වතු තිබ්බ අය ඒක දන්නවා. නයි කාපු අන්නසි කාපුවාම විස වෙනව කියල අහල ඇති පලුදු අන්නසි ගන්න ගියාම සමහර විට. නයි විතරක් නෙමෙයි අන්නසි පොලොංගුත් කනවා. ඒව ගම් වල ඉන්න උදවිය දැකල තියෙනවා.  සමහර විට මගේ මිත්‍රයා දන්නේ නෑ අපි නොහිතන ගොඩක් ජාති සමහර සත්තු කනවා. ඒකෙන් කියන්නේ නැහැ නයා හැම වේලම පලතුරු කෑවයි කියල. විද්‍යාත්මකව ගත්තොත් නයාට අභියොග කරන එකම සතා මුගටිය හා මිනිහා විතරයි. සමහර විට ඒකයි ඒ ආත්ම ප්‍රභල විදියට සලකනවා ඇත්තේ. නිකන් හිතල බලන්න වෙන සත්ව ආත්ම ගැන , තමුන්ව මරාගෙන කන්න වෙන එවුන් අඩුයි කියල හිතල සැනසීමෙන් ඉන්න තියෙන ආත්මයක් තමයි නාග ආත්මය. අනෙක් බොහො සත්තු ජීවත් වෙන්නේ ජීවන බයෙන්. එහෙව් බයෙන් ඉන්න සතෙක් පුදුම අසහනේකින් පීඩනයකින් කාලෙ ගෙවන්නේ. නමුත් සාපේක්සව නාග ආත්මයක ඒ පීඩනය අඩුයි කියල හිතන්න පුලුවන්/ නමුත් මෙතන තියෙන ප්‍රදාන ගැටලුව තමා නයා කොහොමද සිංහල දන්නේ කියල. හොදයි අපේ ගෙදර බල්ලා මම වැඩට යනවා කියපුවම පස්සෙන් නොඑන්න දන්නවා. මම වත්තට යනව කියපුවම පස්සෙන් එන්න දන්නවා...මම බැනපුවම ඒකත් තේරුම් ගන්නවා, ඒ බව ප්‍රකාශ කරන විදියත් දන්නවා, නම කියපුවම නැට්ට වනන්න දන්නවා, ඒ gestures වලින්ම විතරක් නෙවෙයි. ඒ සතුන්ට  ඊට වඩා එහා ගිය විංක්ගදානයක් (conscious) එකක් තියෙනවා. උදාහරණයක් විදියට ඔබ ඈත රටක නොදන්න බාසාවක් කතා කරන නගරයකට ගිහින් දැම්මත් දවසක් දෙකක් යනකොට නගරෙට මිනිස්සු කියන නම දන්නව වගේ. මගේ මිත්‍රයා internet එකේ google කරපුවම සමහර විට මේ වගේ දේවල් රපෝත්තු කරල නැතුව ඇති. නමුත් අපේ ගමේ බල්ලෙක් හිටියා පුලුටු ජාති මස් මාලු තිබ්බොත් බත් එක අත ඇරල යනව. නමුත් බඩගිනි වැඩි වෙලාවට ඒකා දෙන දෙයක් කන්න ඇති. මේ සිද්ධිය සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුලුවන් - මෙයා ගිය ආත්මේ මනුස්සයෙක් වෙලා ඉදල නාගයා ගැන විපරමින්ම කල් ගෙවල මිය ගියාට පස්සේ පහුගිය ආත්මේ ගැන තොරතුරු 100% නිවැරදි නැතුව කියනව වෙනන්නත් පුලුවන්. 

නමුත් කොහොමහරි මේ කතාවෙන් ගන්න සුදුසු දේ තමයි අපි නැවත ඉපදුනත් නැතත් සත්තුන්ට කරුණාවෙන් සලකන්න පුරුදු වුනොත් යහපත් කියන එක. අනිත් දේ තමයි හොද වැඩ කලොත් හොද දේ කවදහරි ලැබෙනවා කියන එක.  ඇත්තට මම හිතන්නේ නෑ මේ සිද්ධිය සිරාවටම වුනාද නැත්නම් නයා සිරාවටම කෑවෙ පලතුරු විතරද, මේකා සිංහල ඉගෙනගත්තෙ කාගෙන්ද, නයාට බඩුවක් ගහන්න අවුරුදු පහක් තිස්සෙම බැරි වුනාද, නැත්නම් නයාට එක ගෑනියෙක් විතරද හිටියේ කියන වගේ කුහක පුද්ගලික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පුලුවන් දෙයක් කියලා.

Thursday, July 19, 2012

ජීවිතය



අලුයම ඉරට නැගීටී රෑ මැදියම
තුරාවට වෙහෙසී මුලු දිවියම
පුරා මා සොයාගියේ ජීවිතයම
ලෙසට කියාදුන් අරමුණු පසුපස

පහලට යන්න ගඟ දිගේ
ඟං දිය වැඩෙනවා වාගේ
වයසට යන්න දිවියේ
තව නව පැතුම් දලු ලමන්නේ
තම සිතැඟිම තුටු කරවන්න නිතැතින්
යන මේ ගමන දැන්නම්
වැටහෙන ලෙසට දිසිවෙයි අරුත් සුන්

හබන්නේ මා කුමක් පසුපස
මටම දැන් විටකට නොතේරේ
චපලවුන් නිතරම අගයන පැතුම්
මගේ හැගුමන් බවට පත්වී

සමාජය නිති ඔද වඩන්නේ
පුහුම දේවල් බව දැනත්
මගේ සිත මට වාව ගන්නට
ඇයිද තවමත් ඉඩ නොදෙන්නේ

                                                                                                                                       චරක දනන්සූරිය

නොඉඳුල් සෙනෙහසට



සොදුරු තුරුණුවිය ගෙවෙන්නට මත්තෙන්
පිවිතුරු එකසිතින් මුළු සසර පුරාවට
පෙම්වතියක් බිරිඳක් ලෙස ඔබට සදාකල් ආදරේ කරනට
සිහින මවනා මා බෝ සතුන් නම් නොවේ

මිතුරන් අනග බමරුන් මෙන් 
හැඹුවත් පෙම් ලියන් නොනිම් රාගෙන්
වැරදි මලකම රොන් නොඉරුවේ 
නොනිම් බක්තියකින් නුඹට

තුරුණුවිය පැතුමන් හා හැගුම් 
උගස් කර ඇත්දැයි හිතෙනමුත් 
සුපිවිතුරු නොකැලැල් පැතුම
අත් හල නොහැක තවමත්
දුක්වුනේ නෑ ගියත් අවුරුදු දශක පසුවී 
නැතත් නුඹ මා වෙතට පැමිණී තවම

නුඹ වෙනුවෙන්ම නොඉඳුල් බව දැන 
ගරුකලවුන් හිඟයි හිනැහුනත් ලෝකයම 
සුමිතුරු ඇරයුමත් හැලුවා
රති මැදුරකට යන්නට 
නැතිමුත් මිතුර නුඹට මෙන් 
ආදර බිරිඳකුත් රූ බර

සක්විති රජෙක් නොවන මා නොවේ රම්බා මෙන්ම මනහර
බ්‍රහ්මයෙකුත් නොවේ මා පිරිමි සිත දමන ලද
සසර පැතූ නොඉදුල් ආදරයම ලබෙතැයි ඔබෙන් කසිදාක හෝ
සත්තයි නිතර මා බලාසිටියා පෙම් සූරූපියේ තවමත් නුදුටු

                                                                                                                                      චරක දනන්සූරිය

Monday, July 16, 2012

කුරුණෑගල්



තාමත් මතක වෙයි මට මා කුඩා කල
පෙර පාසැලට ගිය හැටි නිති නැගිටී උදය
තාත්තා අතින් ගෙන නවතා ලංගම බසය  
දිව විත් නැවතෙනා මම වීදුරුවක් අසල

මතකයි තාම බලමින් මහ මග අසිරි
අසමින් නේක තොරතුරු කුහුලින් සපිරි
බලමින් අවට කෙත් වතු සහලින් ඉතිරී
කුරුණෑගල් ගියා මතකයි සතුටින් ඉපිලී

යන මග දෙපස තිබුනා මහ ගල් සිකර
මෙතරම් ගල් කිමද කුරුණෑගල අතර
සිහිකර නේක ගල් කුලු මා දුටු නිතර
සිතුවා ලියන්නට පැදියෙන් මෙනෙහි කර

මාහොලො ගල පසු කරන් බෝපිටි ආවා
පැනිවෙරළුවේ ලෙස ගල්වල ඇදින්නුවා
කැඩි ගල් බොරලු ටැක්ටර් වතුරත් ඇද්දා
බුල්ඩොසරෙන් බඳිනා වැව මම දුටුවා 

ගල උඩ පන්සලක් වෙයි තව බෝපිටියේ
බෝ සමිදුන් වැඩ සිටි පොඩි ගල මුදුනේ
බුදුගේ තිබුනේ ඊටත් පොඩ්ඩක් මුදුනේ
ගල පාමුලක නිල් දිය ළිඳ පිහිටල තිබුනේ

ගිරිඋල්ලේ ගල් කුලු මා සිත ගත්තූ
රිලවුන් නිතර ගල මත ගැවසී ගත්තූ
ගඟ ගලනා ගල් පාලම ගල් ගැල්ලූ
ලී මොලකුත් තිබුනා ගල උඩ ඇල්ලූ

කදු කීපයක් පසුකර දඹදෙණි ආවා
වඩුවා කෙටූ ලෙස ගල් පඩි පෙල වූවා
තව පරුවත පෙලක් ඉන් ඉදිරියේ වූවා
ටවුමට වෙච්ච මහ ගල මගේ හිත් ලූවා

දඹදෙණියේ  කඩපෙල තාමත් මතකයි
කටුගම්පලට යන්නෙත් එතිනින් මතකයි
මාලිගාව පිහිටිය ගල පෙන්නුව මතකයි
මුතුගල පන්සලත් පහුවෙනවා මතකයි

සමිතියකින් කරන සාලාවක් පහු වූවා
සාලියාල ලෙස හන්දිය නම් වූවා
හන්දිය ඉදිරිපිට ලී මෝලක් වූවා
මතකයි ගල් පොත්ත මත කොහු මොලක් දිව්වා

පසුකර වී මෝල හා මහ වෙල් යාය
බස්රිය සිව්රුදෙනි කඩපිල හැර යාය
සැවුලෙක් පීත කනුවක සදවා සිටිය
අල්ලපු වත්තේ සල් ගස දැන් පීදීය

මැටියගනේ කන්දට පෙර වෙල් එලියේ
මහ කලු ගලක් ලියදක් මැද සිට වූයේ
ඒ දැක අන්දරේ මට නිති සිහි වූයේ
තව පොඩි ගල් පොතුත් මහ කරදරයක් වූයේ

නැග්ගා බසය මැටියංගන මහ කන්ද
දුම් දම දමා ඇදි බර මට මර නින්ද
කන්දේ පිහිටි පොල් පෙල වෙත සිත නැද්ද
පුදුමයි සියලු ගස් සිටවා මැනලා කවුද

කන්ද බහින විට පොල් වතු පහු වූවා
කිවුල්ගල්ල වෙත බස්රිය ලං වූවා
වංගුව සමග මහ ගල් පඩි පෙල වූවා
ගල උඩ වෙහෙර දැක මවිතෙට පත් වූවා

කිවුල්ගල වංගුව පසුකර යනවා සමග
පොඩි කදු ගැටේ විගසම අප උඩ දැමුව
බසයත් නැවතුනා ලඟ පාරක් අසල මුව
රෑබර මගේ මිතුරියත් නැගලා සමඟ මව

කොන්වන්ට් මොන්ටිසෝරිය වෙත ඇය යන්නේ
අම්මා අතින් ගෙන හැඩවැඩ ඇයි නැත්තේ
බස් එක ගැස්සිලා ඉදිරියටම දිව යන්නේ
අම්මට කිව්වා මම ඇයවයි බඳින්නේ

දම්පැලැස්සෙ හන්දිය වෙත අප ආවා
හුනුගල් වැඩ පලත් මගදිම මම දුටුවා
මැද්දේගම පන්සලත් මතකයි පහු වූවා
ඒ දෙස ඇත්තේ බොරලුම කදු මම සිතුවා

මතකයි තාම බස්එක යන කන්ද දිගේ
කන්දේ බොරලු කපලා ඇත මහ පාරේ
පල්ලේ තිබ්බ නාන ලිද නිතරම දිය බේරේ
යන්නේ කොහෙද පොල් වතු මැද මට නොපෙනේ

නාරම්මලට ලංවනවිට කොහු මොලේ
කොහු බත් කන්ද මට අදහා ගනු කෙලෙසේ
කොහු බත් ගන්න පොල් ගස්නම් නැද්ද කොහේ
පිචර් හෝල් එක මවිතය දෙගුණ කලේ

කොහු බත් කන්දටම අල්ලා සදවා තිබ්බ
පිචර්හලේ වහලය මට අමුතුම වෙච්ච
කලුවට කලු ගලක් මෙන් ඈතට දිස් වෙව්ව
වටකුරු වහලයට මගේ සිත මවිතය වෙච්ච

පාසැල පහු කරන විට වෙල් යායක් වූවා
යායට උඩින් මහ ගල් කදු පෙල වූවා
ගල් කුලු උඩින් මහ පිලිමය දිස්වූවා
නිලමහ යොදයගේ බව මට කවුදෝ කීවා

නාරම්මල ටවුම නිතරම මට පහුවෙනවා
ටවුම  මැද්දේ මහ ටවරය ඉදිවෙනවා
ඉංජිනේරු අක්කා කනුවේ උඩටම යනවා
ඇගෙ දිරි එඩිය ගැන ඩයිවර් කියවනවා

පහුවනවිටම නාරම්මල මහ ටවුම
කුඹුරුයාය වෙයි නිල්වන් දැක අරුම
මීදුම් මැදින් පාරත් නැතිවිය පුදුම
තුරු හිස් මතින් ලා හිරු රැස් බල සැවොම

පහුකර වෙල්යාය මහ වංගුවකට එන්නේ
කැරකුන වේගයට මම කොක්කක එල්ලෙන්නේ
දෙපසම ගල් කුලුයි මට ඈතට දිස් වන්නේ
ගනේගොඩ වෙතයි අප දැන් ලංවන්නේ

හන්දිය පසු කරන් අපි ඉදිරියටම ඇදුනා
මහ කලු ගලක් විත් වංගුව පසුවූවා
ගල මත පුංචි දර මැස්සක් තව වූවා
ලොරි බොඩි වැඩපලත් ඈතින් ගලකම වූවා

ලොරි වැඩපලට ඈතින් මහ වෙල මැද්දේ
කුහුලය ඇයිද ගල් පොත්තක් දිස් වන්නේ
පොත්තට එහායින් ඇයි කිසිවක් නොපෙන්නේ
ගල මත වැවක් ඇති බව කවුදෝ පවසන්නේ

පසුකරමින් ඇල වේලි මහ කඹුරු ලියද්
බලමින් මී වැව වංගුවෙ නාන ලිදත්
වංගුව බෑවුමේ සරු කෙත් හා අනග ලියන්
වංගුව අවට ගල් ගැන මම කේසේ ලියම්

නාන ලියන්ගෙන් පිං ළිඳ වටවෙන්නේ
නිල්වන් පළිඟු ලෙස හිරු දිය ලෙලදන්නේ
කල පෙල උකුලෙ ගැමි ලියො දිය කෙලිමින්නේ
මී වැව පහුකරන් බස්රිය ඇයි දැන්මම යන්නේ

මීවැව වංගුවේ මනරම් ගල් පොත්තේ
හන මල් පිපී වනමල් ගැවසී ගත්තේ
තල මල් පිපී අනියත බව සිහි වන්නේ
වංගුව වටේ ගිරිවල තව මොනවද වෙන්නේ

සමහර දිනක වංගුව උඩ ගල් කන්දේ
අලුයම අඩ අඳුරේ නිතරම දුම් ලන්නේ
ඒ දුම් නගින්නේ හොර ස්කා ගාරෙන්නේ
කොන්දොස්තර සැමට ඇති තතු වටහල දුන්නේ

කන්ද මුදුනේ පොඩි පංසල වූවා දෝ
ඈතට පත්තිරිප්පුව මෙන් දිස් වූවා දෝ
වෙල මැද සුදු පාර කන්දට කැපුනා දෝ
මීදුම් ඇවිත් මගේ දසුනත් වැසුවා දෝ

පිං ළිඳ පහු කරන විට පරුවතයක් වූවා
එය පාමුලින් පොල් අතු ගෙපැලක් වූවා
ගෙදර අඩ දොරෙන් හෙලුකොට්ටෙක් දිව්වා
මටත් ගෙදර කුස්සිය ගැන සිහි වූවා

කටුමැටි ගසා බට වරිච්ච බැඳ තිබ්බ
ගොම මැටි ගසා ගේ බිම මැදලා තිබ්බ
කටරොඩු දාස් පෙති මනරම් වවලා තිබ්බ
සුදු  වැලි මිදුල පිරිසිදුවට අමදල   තිබ්බ

මේ ගේ පැලේ ඉන්නා හෙලුවැලි කොල්ලා
පළඳී ඉනේ කලු නුලක් කරකා හොල්ලා
දිවයන මී හරක් පටිටිය දැක ගෙයි බල්ලා
බුරමින් දුවයි ගවරැල ගන්නට මෙන් අල්ලා

පහුකර දුවන විට මේ සුන්දර ගේ පියස
මානෙල් පොකුණ ගල් වටකර වල සරස
මල් පැණි මතින් බිඟු රල කැලඹී විලස
පැද්දී ඉගිලුනා රිය නිවලා ගත වෙහෙස

මේ පොකුණටම කර රූනන් රෑනක් වූවා
රෑනම වේගයෙන් සුලඟින් කැරකූවා
කූරන් පෙම් කෙලින ගල් පොඩි එහි වූවා
මා දුටු ලස්සනම වල මට මෙය වූවා

ඊ ළඟ වංගුවේ ඇත මහ කුඹුක් ගස
ගසට එහායින් වෙයි ගල් කුලු පියස
ගල් කුලු පියස වට කර වැව දිය සලස
මේ දිය වරන්නට දෙද මානෙල් මල් පලස

බස් රිය කෙමෙන් කලුගමුවට ලංවන්නේ
කොහුබත් මෝල හෙමි හෙමිහිට පහු වන්නේ
කොහුබත් කන්ද මෙන් මහ මෙර ඉක්මන්නේ
ඇතුගල් කන්ද වෙද ඈතට දිස් වන්නේ

කොහුබත් කන්ද ඉදිරියේ වූ ගල් කන්දේ
පොඩි ගේ සුදුවතින් ඈතට දිස් වන්නේ
ගලට අල්ලලා කෙත් වතු දිදුලන්නේ
සුදු හංසයෙක් පුදුමයි සොහොනක් මුදුනේ

කවියෙක් පතල ඔහු ඉපදුනේ කලුගමුවේ
ඔහු සිහිවන්න මේ අරුමය ඉදි කෙරුවේ
තෙරතුරු කොටා ඇත සොහොනේ පින්තූරේ
කවියෙක් වුවත් මරණය ඔහු වෙත ආවේ

යන්නට පෙර කලුගමුවේ හන්දියට
මහ කඳු රජෙක් වෙයි බසයට නගින්නට
ඇන්ජිම දුම් දමා දගලා කිහිප විට
බඩගා නගියි කලුගමුවේ මහ කන්ද

කන්ද පාමුලම වෙයි මහ කුඹුක් ගස
කන්ද නැග්ග විට ඇත හන්දිය ගන්න බැස
වාරියපොලට යන්නේ මෙතනින් විලස
කවුදෝ කිව්ව බව මතකයි කිව්ව බස

කලුගමු කන්ද මුදුනේ ඇත තැපල් හල
හන ගස්වලින් වටවූ කලු ගල් ගොල්ල
ගල කෙලවරක වූවා මනරම් දෙවොල
කන්ද බසින්නේ ලංවී බොක්කට කිරල

කිරල බොක්කේ වංගුව තාමත් මතකයි
වංගුව එක්ක හන්දිය තිබ්බා මතකයි
හන්දිය අල්ලා කලු ගල් පෙල අරුමයි
ගල පහුකරන විට උහුමීයේ වෙද මැදුරයි

මේ වෙද මැදුර තුන් හෙලයම අඳුනන්නේ
වෙදැදුරු දොරටියාවේ ලොව සුපතල වන්නේ
මැදුරේ හට්ටි වල වෙද පැණි උතුරන්නේ
තාත්තගේ අරිෂ්ටෙත් මම රහසින් බොන්නේ

තාත්තා බිව්ව නෙක දස බල මූලා රිෂ්ඨ
මමත් බිව්ව බව නොදනී රහසින් ඔහුට
තාත්තා ගත්තෙ මේ පැණි නිති හැදි දෙකට
මමනම් ගත්තේ පැණි බොතලයෙන් කටට

තවමත් දකින විට නිති මේ වෙද මැදුර
සිහිවේ මගේ පංතිය මට එක වසර
නැති ලෙඩ හදා අම්මා දක්කා එවර
ආවේ පැණි බේත් ගන්නට මේ වෙද ගෙදර

වෙද මහතා කරුණා මෙත් ගුනෙන් යුතු
බැලුවා මගේ කේන්දරයත් කිමද ගතු
මම මහ ගුණවතෙක් වේ දිනකදි මෙයින් මතු
හිස අත ගසා කිව්වා හෙලිකර සියලු තතු

වෙදමැදුරේ නෙක හැඩ ලොකු හැලි අතරේ
විවිද හැඩැති බොතල් මගෙ හිත ගත්තේ
පූනීලය ගැසූ හට්ටියෙ රස වෑහෙන්නේ
මී පැණි  නොවේ තෙල් කොහොඹයි රහ බැලුවේ

මැදුරේ සිටපු කුදුවුනු මිටි සුදු සීයා
මට ආදරෙයි වෙදමැදුරෙත් පොත් කියනා
මැදුරේ වෙද පැලත් ප්‍රෙස්කර පොත් යට හංගා
හැදුව පැල පොතත් පන්තියෙ එක වූවා

පහුකර යනවා බස් එක උහුමීයේ ඇල
ඇල කණ්ඩියේ හිට ගහනව වීසි දැල
ඇල පහු කරන විට වෙයි මහ මාර පෙල
රොබින්හුඩුත් සිහිවෙයි දැක බියකරු අඳුර

මාරගසින් බර වුනු මහ වන ගොල්ල
වංගුව සමඟ දිසි ගිරි කුළු මනකල්ල
පොල්වතු අතර කලු සුදු වැට නැත දල්ල
ගල් ගල් අතර වෙද උහුමී පාසැල් වැල්ල

ගල්පෙල අතර පැලපිහි ගොඩ දිස් වන්නේ
කොප්පර මෝලෙ දහසින් පොල් ලෙලි වන්නේ
මෝලට අල්ලලා පාසැල වෙත යන්නේ
පැලපිහි කන්න පොඩිවුන් පොර අල්ලන්නේ

අපේ ගෙදර කොතරම් පොල් පැල වූවත්
කටට කෙල උනයි අරුමෙක හැටි මෙහෙමත්
පොල් ගෙඩි පලා උදයම මිදුලට දමතත්
බසයේ අපට මෝලට නැත යන්න ඉඩක්

උහුමීයෙන් පිදුරුවැල්ල වෙත ටික ටික ලං වන්නේ
සීත සුලං කෙත්  වතු පිස කිරල හඩින් පිනවන්නේ
හිරුරැස් කැටි ගත දැවැටී සිත ප්‍රමුදිත කරවන්නේ
ලන්ද උඩින් වලා සිබින ඇතුගල දැන් දිස්වන්නේ

ඇතුගල ආඳාගල එළුගල ඉබ්බ ගල
වඳුරාගල කුරුණෑගල කුරුමිණිය ගල
ගල් ගල් මොකද මඟ දිග මේ විකුම බල
ගල් ගැන කුහුල ඇතිවිය මගෙ කුඩා කල

මේ ගල් ගැනම සිතමින් මට නින්ද ගියා
බස්රිය අප රැගෙන මලිදෙව් පියසටම ගියා
පහලොස් වසක් නිති කුරුණෑගලට ගියා
මහ කලු ගලක් මෙන් නොසැලෙන්නට උගෙන ගියා

                                                                                                                  චරක දනන්සූරිය

Saturday, July 14, 2012

රැකියා සිහිනය



හොද රැකියාවක් ලබා හොද වැටුපුකුත් ලැබ
හොද සේවයක් දී හොද දිවියක් ගෙවන්නට
දිව රෑ නිදි වරා වෙහෙසුනා සගවා නේක කදුලැල්
ලත් ශිල්පය නම් අපමණයි
කෙල පැමිණිලා විබහගත් තිස් වියත් ඉක්මවී

දෛවය නම් කිමද
ඇතමුන් සියලු දේ ලබති නිතැතින්
නැති මුත් ලබා කිසි සුදුසුකම් 
මහිමමේ වාසනාවෙන්

නිති විනයක් සමග  වෙහෙසවී උගත්තුන්
කදුලින් ලෙයින් බල බලා වෙහෙසෙත්
තැත් කරත් ගන්නට දිවි මගට එලියක් ධර්මයෙන්
දිනුවා  මුත් ඉන්ටවුත්
ඇයි ලබන්නටම බැරි
නියම වටිනාකම උන්ට කුහකන් නැතුව

තරඟය යහපතයි යුක්තියක් ඇති විටක
යුක්තියක් නැති තැනක දිනන්නට නම් දිවිය
මරාගෙන මැරෙන්නට දැන්නම්
හිතෙන්නේ සහේතුකවමයි

මුදල්ම වෙයි වෙන
නැත කිසිම විසදුමක්
දිනන්ට දිවි මග
නොඉපුන අප නිරිඳුනට වී දාව

                                                                                                                     චරක දනන්සූරිය

දිවි දිනීම




දිනීම රිද්මයක් මිස සිතුවිල්ලක් නොවේ
අරමුණක කෙලවර
මිහිරි නොමවෙන ඝෝර අභියෝගයන් පසෙක ලා
වේදනාව අස්තිර අරුත්සුන් බව අමතක කරදමා
තම අරමුණම උතුම් කොට
සිතන්නට සිදුවේ දිනන්නට

ජීවිතය සැමදා තරඟයක් කිසිවෙකුට මග හල නොහැක
දිනන්නේ එකෙක්මයි එක ඉසව්වක එක වරකට
එම දිවියම අරමුණක් වූ කල පර සතු නොවන
තරඟය ස්ව සිත සමග වෙයි නැත වෙන එ‍කෙකු අත

ගැටුම් කම්කටොලු බාදක දිනන්නටම වේ
නැත අත්හරින්නට කිසිම ඉඩක්
නිවනත් ටිකක් දුර කලක කුරිරු වෙයි සටනත් 
අටලෝ දහමෙන් සදා
කෙසේවත් නොසැලෙන්න
වරයක් දෙන්න මට සමිදුනේ

                                                                                                        චරක දනන්සූරිය
                                                                                                                

බොලද රෑබරී ධනවත්





වංක නොවන සෳජු චපල නැති මිනිහා
සත් සියක් දම් පලිවෙතින් රකිනා
කෙසේ නම් බැතියෙන් අගයම්ද 
බොලද රූ බර ලියේ
සිතින් නිතරම අනුන් සසදමින් කල් ගෙවනා

නැත ඔබ කිසිම දිනක වෙහෙසී
සොයන්නට දකින්නට අත්විදින්නට සැබෑ ලොව
මායාවෙන් මුලාවී මිරිඟුවක සොදුරු බව
හදවතින් විදින්නී
මුමුනමින් බොලද ලාමක සිතුම් තාමත්
සිඟිත්තියක මෙන් පෙර පාසැල්

චපල වෙන්නට එපා කිසිදින
වෙහෙසකර මුත් කෙලිලොල් ලපටි සිතකට
විටක තේරුම් ගන්නටත්
මුලාවූ ලොවක අරුමය
සියුමැලි ලපටි ලබැදියේ

පෙර හැගුමට මුලාවී නිතරම
ඔබේ සුන්දර ලොවේ වීරයන් වී ඇත්තේ
එකසිතින් දිවි ගෙවන්නට වීරියක් නැතිවූ
චපල සලෙලුන්ම බව
කෙසේ කිසි දින කෙලෙස පිලිගනීවිද
දිවි මගේ නිති ජය ලබන්නට
පහසු මං කනිනා බොළඳ රූ රැජිනියේ

                                                                                                                                 චරක දනන්සූරිය

Thursday, July 5, 2012

ජූලි 02 – 2012


  
හෙට මට තිස් එකයි 
රස්සාවත් ගිලිහුනයි
ගෙවන්න ණය කෝටියයි
සිත් එක් විකාරයයි

අවුරුදු පහක් කොම්පැනියක වැඩ කරලා
කොම්පීතර කොටල කොන්දත් දුර්වල වීලා
නිති වැඩ කරල තුති වදනක් නොම විදලා
රැකියාවෙන් අස්වුනා කේලම් ගැන කලකිරිලා

කේලම් කියන ගැහැනුන්ගේ මුසා බසුත්
තොදොලෙන් කියන විට රැවටී චපල බොසුත්
ගුනමකු වුනා පිලි ගින්නට මගෙ වදනත්
රැකියාවෙන් පිටවුනා මා ලඟ නැත සතයක්

ගියදා ඉදන් රැකියාවෙන් පසුදාම
ඇද්දා සියලු තැන ටියුෂන් බලන්නට
ගියේ හැම හෝටලේටම කාරය දාන්නට
එකක්වත් හරිගියේ නැත දුර්වල වෙලාවට

බොඩිමේ ඉන්නටත් බැහැ දැන් මට හැමදාම
ඇන්ටිට මතක්  වෙන්නේ නිතරම ගැන මුදල
පොත්ටික පොදි බැදන් රෙදි කෑලිත් සමග
ආවේ ගෙදර ගෙන අන්තිම තුරුම්පුව

නිදන්නේ හැමදාම රෑ දොලහත් පසු වී
නින්ද යන්නේ නිතරම අලුයම පහ පහුවී
තාත්තා එබෙයි කාමරයට විට විට නැගීටී
පොත් වටකරන් කරනා දෙය ඔහු නොදනී

සමහර දිනක තාත්තා අලුයම නැගිටී
හොද හැටි දෙහි කපයි මට කියලා වැරදී
කාලකන්ණියා ලෙස ගරහා ඔහු විටදී
මමයි කන්න දෙන්නේ‘ විටකදි නගලා මැසීලී

ඉගෙන ගන්නට මා දුක් වින්දේ දත් දා ඉදලා
අවුරුදු පහලොවකට වඩා බෝඩිං වල ඉදලා
උපාධිත් දැනටමත් හතරක් විතරම කරලා
ගෙදරට ඇවිත් දැන් තෙමසක් ගත වීලා

දවස ගෙවන්නේ ඉන්ටව් දාන්නට
සවසට ගෙවෙන්නේ කැති උදලුත් එක්ක
අත් පිපිරී කරගැට සහ දිය පට්ට
තෙමසක් ගතවීත් මට රැකියාවක් නැද්ද

මගෙ මිතුරන් බිරියන් හා ආදරයෙන්
රාත්‍රය ගෙවයි සෙනෙහෙන් සන්තෝසෙන්
මගේ පෙම්බරිය කොම්පීතරී සහයෝගෙන්
මහ රෑ ගෙවේ පෙම් විරහෙන් කෙදිරිල්ලෙන්

තාත්තා නිදන්නේ අල්ලපු කාමරයේ
දැල්වෙන එලිය සමහර විට ඇහැරන්නේ
කුමක් කරන්නද මම දොරවල් වහගන්නේ
තාත්තා හිමින් මුමුනණු මට වැටහෙන්නේ

තාත්තාට දුකයි මම ඉන්නා විදිය
දිවියක් තනන්නට නිති දරනා විරිය
නිති නිදිමරා වෙහෙසා ගත සවිය
තවමත් සිතා නැත ගන්නට පිය බිරිය

සමහරු සිතයි මට පෙම්වතියක් නැත ඕනෑ
මේකා ආදරේ කරන්නට නම් දන්නේ නෑ
ඇත්තම මෙය නොවේ මා ආ කිසිදා හැඩුවේ නෑ
මට මුනගැසෙන්නුන් මා තේරුම් ගත්තේ නෑ

පවුලේ වැඩිමලා මා දුප්පත් පැලක
දුප්පත්කම පරදවා මව් පිය නිති ගැටුම
ගියා කලක් මේ තැන ගොඩ නගන්නට
විවාහය කල් ගියේ මට කල් නොදැනීම

අම්මා පම්පෝරිය ගසයි ඈ ඉගැන්නුවා කියා
තාත්තා කියයි ඔහු බත් දුන්නාය කියා
ගම්මුන් සිතයි අපි පොහොසත් ඉඩම් නිසා
මම දන්නවා මම කොහොමද  කලේ කියා

අම්මයි තාත්තායි ගැටෙනා හැමදාමත්
තාත්තා නොබින වදනින් මට බනිනා මුත්
සොයුරන් ඉදිරියේ මා නිවටෙක් වෙනවා මුත්
මගේ දහිරයේ අඩුවක් නැත බිඳුවක් වත්

තාත්තා ලඟට එයි මුදලින් ගැවසෙද්දී
අම්මා සිනාසෙයි ගෙට බඩු එන විටදී
සොයුරන් හට වැඩක් වේ මගෙ නම ඇති තැනදී
මම ගුනවතෙක් වේ මා තේරුම් ගත් දිනදී

                                                                                      චරක දනන්සූරිය

Monday, July 2, 2012

වෛද්‍ය අයියා



ගැහැනියකට නිතර තම සැමියාට වඩා
අනෙකෙක් සිටී හිමි පරයා විකුම් සදා
අම්මත් මගේ නිති සිටියත් සිහින සදා
ඇගේ සිහිනේ  එකම විරුවා වෙයි  වෛද්‍යයා

වෛද්‍යා අඳින හැටි නිති කරමින් මෙනෙහී
අම්මා දෙසයි බැති ඇගයුම් ඇගෙ ලොවෙහි
නැති නෑදෑ කමින් ඔහු මාමා මගේ ලොවෙහි
වෛද්‍යාට වඩා නැත කෙරුමෙක් මේ ලොවෙහි

දැක නැත කිසි දිනක මම මේ වෙද මාමා
අම්මා දෙසයි ඔහු වරැණා කර ආසා
ඇගේ වැනුමටම මම ආසා වයස කුඩා
ලොල් බැන්දෙමි දකින්නට මේ මහ රණ විරුවා

අම්මගෙ ලොවේ ගැහැනිය වූයේ අක්කා
දක්කා ගියා අපි දවසක් ඇය  ආ දා
පොඩි කමිසයක් දී මතකයි බදාගෙන ඉම්බා
දැක්කෙත් නෑ එදායින් පසු මේ වෙද අක්කා

අක්කාට වඩා රූමතියක් නැත ලෝකේ
අයියට වඩා වෙද කෙරුමෙක් ලංකාවේ
ඇදිවත පමණටත් නැත දුකෙනුයි කල් ගෙව්වේ
තාත්තා මහන්සියෙන් වේලට කර ගැහුවේ

අම්මගේ සිහිනයම අපි වෛද්යෙක් කරවන්නයි
අපමන වෙහෙස වී යැව්වේ ඒ දෙසටයි
සොයුරා වෙදෙක් කෙරුවේ ඇගේ ඒ සිහිනයි
තවමත් දකින්නට වෛද්‍යා නැත ආවයි

ඇත්තේ මුද්දරයක් තවමත් මගේ ගාව
ආඩම්බරෙන් රැක්කා නවසීලන්තෙන් ආව
එක ලියමනක් ඇත ලඟ මේ අක්කා එව්ව
ඇයමයි ඇගේ සිහිනය මලගමකට නාව

ලදකගෙ ස්වභාවය නම් පුදුමය දනවයි
කිසි දින නොවෙනස්ය භක්තිය රිසි දේටයි
ලඟ ඇති සියලු දේ ඇට හරි අඩු අගයයි
පිට ඇති අබ ඇටේ නිති මහ මෙර ගානයි

                                                                                                           චරක දනන්සූරිය
  

Sunday, July 1, 2012

චූටි පුතේ



චූටි පුතේ චූටි පුතේ
මාගේ රත්තරන් පුතේ
මගේ හුරුව ගත්තු එකේ
උඹ හැර අන් ලොවක් වෙතේ

උඹ මහ හපනෙකි මෙදියත
මගේ පිනට මෙන් ඉපදුන
මම මෙන් හරි කඩිසර වැඩට සමත
ලොකු ලමයා මෙන් නොඅලස

ගෙදරට එක ලමයෙකි එක පුතෙකි
ළමයා අකීකරු කලු විසකුරු මහත වෙති
අලසය කඩවසම් නැත කොන්ඩය කූරු ඇති
දස්කම් නොදත්තෙය මෝඩයි පියා මෙනි

අම්මගේ නුවණ තලතා දේවිටත් වඩා
දත්තේ සියලු දෙය අන් කවරටත් වඩා
හැදුවේ දෙටු පුතා නිතරම අගය වඩා
අකීකරු ලොකු එකා හට ගරහා කියා බඩා

චූටි පුතා මම කියනා දේ අසනා
මගේ පැතුම මෙන් නැටුමට හරි හපනා
වෛද්‍ය අයිය මෙන් වෙදනෙක් වෙයි කවදා
මජර යකා ලොකු ළමයා - වැඩිමල් කමටත් නොබිනා

මම කිව්වා සංගීතය කරන්නට
ඇහුවේ නෑ ගියා සිතුවම් අදින්නට
මම දක්ෂයි වානිජ විද්‍යාවට
මේකට ඕනැ ක්‍රර්ෂිකර්මය කරන්නට

ඇහුවේ නෑ මා කියනා කිසිම දෙයක්
මවට නාහනා දරුවට වෙත්ද හොදක්
මූට ඔනෑ දේ කරන්න සෑම විටක්
දෙන්න සුදුසු නෑ මවකට කිසිම ඉඩක්

ලොකු ලමයා වගේ නොවේ මගේ සුරතල් චූටි පුතා
දඟකාරයි කෙලිලෝලයි පංතියේ තෑගිත් දිනනා
මම මෙන්මයි ර්‍කඩාවෙත් කැපී පෙනෙන හරි ජගතා
නලා බටෙත් ගෙන නොලසව මාසයක් ප්‍රැක්ටිසුත් ගියා

ගියේ ප්‍රැක්ටිස් මාසයක්ය බැන්ඩ් එකට චූටි පුතා
යන යන තැන අම්ම දොඩයි පම්පෝරිය කර වරුනා
නෑ ගෙදරත් මල ගෙදරත් කොතැන ගියත් ආවඩනා
සොයුරු වැනුම මල වදයක් වුනා මටත් හිත රිදනා

ගෙදරත් පොර පිටියක් මෙන් මවයි පියයි නිති ගැටෙනා
දත්තේ නැහැ සුලු වදනට නිති ගැටුමට මුල පුරනා
දුන්නේ නැත නිසි පිලියම් ‍ගැටුමට හේතුවක් සොයා
කර ඇරියා වග කීමෙන් පටවා දොස මත අනෙකා


දරුවො වැඩෙන විට වේගෙන් මුදල් හදල් මදි වේවි
දෙන්නා එකතු වී ගැටලුව විසදෙව්වොත් හරි යාවි
ඉඩම් කඩම් ඇත දේපල කර දුන්නොත් බර වෙහෙසී
සිත සමගිව ඉවසීමෙන් වැඩ කරන්න සිදු  වේවී

අවාසනාවක මහතට ගෙදර වුනේ වෙන දෙයක්ය
අම්මා අඩයි මුලු වරුවම පියාට ගරහා නිතරම
මුගේ මුහුන පියාගෙමයි කියා කියයි යනෙන පිරිස
අම්මා රිදෙව්වා දරුවට පියාට ගරහනු සියුම්ව  

මේ අතරම මේ පවුලට තව බරකුත් එකතු වුනා
කොහොඹ ගහට කරවිල මෙන් ජීවිතයම තිත්ත වුනා
දරුවට නැත අවදානය ආදරයත් කුස සිටිනා
මවයි පියයි නැත සෙනෙහස නිතරම අරගල කරනා

හදනා විට දරුවන් දෙමව්පියන් වී දිනයක
කරුණාවම පෙරටම ගෙන ඉවසීමෙන් මෙත් වඩන්න
තමන් සිතුම් සෑම විටම නිවැරදි වෙයි නොම සිතන්න
අත්මත්කාමී විදියට තම මතයම නොම දිනන්න

හැදුව විගස යුග දරුවන් දෙමාව්පියන් මෙන් රහතුන්
සිතත් බොහෝ අඹු සැමියන් බිනයි කෙබර හරි මානෙන්
යහපත් දිවියක් ගෙවන්න මුදල් නොවේ මුල් ඇදුරන්
ටියුසන් විබාහග අවශ්‍ය දෙවෙනි තැනට නොවේ මුලින්

ගෙදර ආදරේ සාමය දිවි හිමියෙන් සුරැකිය යුතු
නම්යශීලි වී තරමක් සවන්දීම කෙරිය යුතු
නරක වචන සිත් පෑරුම් පිරිමි කමට නොකල යුතු
ගැටෙන විටදි ආවේගය නිහඩ වීම තැනට හුරු

කිසිම කෙනෙක් නැත පිරිපුන් නොදත් දැනුම උගෙත යුතූ
ගෙදර දොරක් පැවැත්වීම අංක එකට තිබිය යුතු
අගය කිරීමෙන් වැඩපල දිරි දීමට උගත යුතු
නිතර දිනන්නට යාමෙන් සහයෝගය නොබිඳ යුතු

                                                                                                             චරක දනන්සූරිය